Wednesday, February 14, 2018

බොළඳ ප්‍රේමය...







මැනබලන්න එපා සබඳ
වැටෙන කඳුළු බරද කියා
සිනාසෙන්න එපා ඉතින්
මෙච්චර බොළඳයිද කියා...

නොදැක ඉන්න එක සතියක්
හරියට මට කල්ප හැටක්
අමතපු නැති එක දවසක්
සිතට මගේ නෑ විසුමක්...

දහසක් වැඩ අතරෙදි වුව
එයි සිහියට ඔබ හොඳින්ද?
කෑමෙදි බීමෙදි පළමුව
හිතෙයි අනේ ඔබ කෑවද?...

ඔබ පොඩ්ඩක් බැන්න විටදි
රිදිලා මගෙ හිත හොඳටම
අනේ අපොයි කියා හිඳී
ලෝකෙ කඩන් වැටුන ලෙසට...

ඇස් රතු කරගෙන අඬ අඬ
ඔයා කරන විහිළු වලට
මම ඉන්නෙමි එලි වෙන තුරු
නොකා නොබී හිතේ දුකට...

ඒක මගේ බොළඳ කමද
නැතිනම් ආදරේ හැටිද
ඔබේ ළඟදි දැනෙන හුරුව
සංසාරික බැඳීමක්ද...