Sunday, November 24, 2013

ඔබ එනවද මට කියන්න



ඔබ එනවද මට කියන්න


යෝධ කඳුපන්ති නිල් අහස්කුස සිපගන්න
පවුරු බැඳලා වගෙයි කුල රජුන් රැකගන්න
නිති වැටෙන පොඳ වැස්ස මිහිතලය නහවන්න
කහ දියර ඉසිනවද රජුගෙ පා පිළිගන්න

පවුරු වැට පැනන් ආ ඔටුනු හිමි කුමරාණ
දුටුවාද නූතනයෙ අසොක්මල් බලනුමැන
මුහුණ දිය යුතු දිවියෙ ඇත බොහෝ ලැබගන්න
එදා සාලිය ලෙසින් නොහැකිවෙයි පැනයන්න

පැතුම් පොදි ගුලි කරන් ඇය හිදී මගබලා
එනතුරා ගෙන යන්න මගුල් රථ පිරිවරා
කඳු ශිකර පසු කරන් ඔබ ඒද කල්බලා
දිවිතුරා ළඟ ඉන්න ඇතිද පෙර පින් පුරා

Monday, September 23, 2013

හිඳින්න බැරි මගෙ දෙ අතින් පැටියෝ නුඹ දැන් ඉගිළෙයි



හිඳින්න බැරි මගෙ දෙ අතින් පැටියෝ නුඹ දැන් ඉගිළෙයි




ළඟට අරන් පරිස්සමින් දෑසෙ කඳුළු පිසලදාපු
ආදරයෙන් ළඟින් ඉදන් උදේ සවස හිත හදාපු
මගේ පුංචි කුරුළු පැටියා මාව දමා ඉගිල ගියපු
පරිස්සමින් යන්න පැටියො දුර අහසේ පැතිර ගියපු


කූඩු කරන්නට නොහැකිය
නුඹෙ නිදහස නුඹට හිමිය
තටු සවි වී නුඹ දැඩිවිය
තුරුණු නුඹට සැප මදිවිය

බලන්න දුර අහස දිහා පැටියෝ අන්තුරු බොහොමයි
දකින්න දුර ඈත නිතර පැටියෝ ලෝකය නපුරුයි
රැඳෙන්න හිත නොමැති නිසා පැටියෝ නුඹ යා යුතුමයි
හිඳින්න බැරි මගෙ දෙ අතින් පැටියෝ නුඹ දැන් ඉගිළෙයි

Thursday, March 28, 2013

අපි අපේ වුන හැටි



අපි අපේ වුන හැටි



පාඩම් පොතේ නිතර
පිටු අතර සිනාසුන
ඔහුගේ දසන් පෙළ
අමතක වෙලා මට....
තත්පරෙන් තත්පරේ
එව්ව කෙටි පණිවිඩ
නැවතිලා ඔක්කොම
අමතක වෙලා ඔහුට....

හොර ගල් ඇහිඳපු
සෙමින් ඉඟිබිඟි කරපු
පාසල් ප්‍රේමෙ ඉවරයි
හීන මාළිගත් ඉවරයි....
උපධිය ඔළුව උඩ තියාන
ඉන්නවා අපි සරසවි දෙකක
ඔබ අලුත් පෙම් ලොවක
මම මගෙම ආතල් ලෝකෙක....

සරසවි යන්න පෙර
දහසක් පොරොන්දු මැද
එකට තැබු හදවත්
අපිම හොරෙන් අරගෙන....
ඔබ දන්නෙ නෑ
ඔබ එතන නැතිවග
ඔබට මතකත් නෑ...මම?
ඔබට නොදෙවෙනි නෑ....



Tuesday, January 22, 2013

මගේ හිමියනි...!







සිපිරිගෙය විය කලෙක හදවත ආදරේ සිතුවිල්ල නාමෙන්....
කඳුළු සුසුමන් කලෙමි සිරගත ලොවෙ වසන් විය මම මගෙන්....
දිනක් එළඹෙන තුරා ගැන ගැන අතේ දෑඟිලි හෙමි හෙමින්....
නිදහසේ අරුණැල්ල සෙවුවෙමි හදවතේ ගැස්මට හොරෙන්....

තාරුකා එළි එපා කීව්වේ හිරුට පෙම්කල නිසාවෙන්....
බැසගියත් යළි නැගෙයි සිතුවේ අතැර ගියෙ ඔබ නිසාවෙන්....
යළි නැගුන විට අපේ ලෝකය ඔබෙ ඒ ආගමනයෙන්....
කඳුළු කම්මුල් දිගේ ගොස් පිටමංවුනා ඔබෙ උරමතින්....

අවැසි විය මට වන්න ඔබ ළඟ ඉතා බැතිබර යශෝදාවක්....
පතිනිවත නැත විමසුවේ මම පිළිගතිමි නොදුනෙමි දුකක්....
හිමියනේ අමතකද අද එය මග හරින්නේ යළි වරක්...
නොදැනුනේ මා වරද මගෙමද දෙවියනේ මෙය පෙර පවක්...

ඇරඹුමේදී සොයා බැලු හැටි මතක් වෙයි සිතපාරවා...
රැයක් ගානේ මිමිණු පෙම්බස් සිහිනෙනුත් මට ඇහෙනවා...
පුදසුනේ තැබු ප්‍රථම ප්‍රේමය බොඳ වේද බයහිතෙනවා....
වර්ණ නැතිවුව අපේ ලෝකය හිමියනේ මට වටිනවා....

Friday, January 11, 2013

ආදරයට අත්තටු ඇවිත්..........


ආදරයට අත්තටු ඇවිත්..........





අත්තටු විත් මගේ හිතට
හදයි ඔන්න ඉගිල්ලෙන්ට
ආදරයෙන් ඔබේ ළඟට
එහෙත් ළඟයි විභාගෙ මට...


පාඩම් පොත් පිටු ගානේ
අකුරු අතර මැවී පෙනේ
නිදි කිරනා රෑ පානේ
ඔබේ සුසුම් මටත් දැනේ...


ළඟදිම මුනගැසෙන දිනදි
කියන කරුණු තිබේ සුසැදි
එනමුදු ඔබ දකින විටදි
මතකය දිවයාද නොරැඳි...


කඳුළු කොහේදැයි නොහැඟෙයි
දුක සෝකය මම නොදනියි
ඔබෙ ළඟදි හරි පුදුමයි
මුළු ලොව මට මගේ තමයි...

Monday, January 7, 2013

සරා සඳට මා අමතක වුනාදෝ...







කලක් තිස්සේ පැතූ හීනය අද සැබෑ ලෝකය වෙලා
විලක් මත්තෙහි සියපතක් සේ මෑත මතකය ලියවිලා
පලක් නැති මුත් හෙළා සුසුමන් මෙසේ ළතැවී මගබලා
මලක් විමසයි හිතේ ශෝකෙන් කිමද සඳ තව නොනැගිලා...


රැයක් එළිවෙන තුරා පෙරදා මිමිණු පෙම්බස් දියවෙලා
මේඝයක් වී කඩා වැටුනා පෙති පවා පොඩි වී ගියා
නිමක් නැතිවූ අකුණු සැර සඳ රැස් දිගේ පුපුරා ගියා
පෙමක් වෙනුවෙන් තවත් ලතැවෙයි සරා සඳ වඩිතැයි කියා..