Sunday, December 23, 2012

ඔබ යන්න මා තනි වුනාවේ


ඔබ යන්න මා තනි වුනාවේ



මුවට සිනහව එක් කළෙත් ඔබ
මකා මගෙ ඇස් හැඬෙව්වෙත් ඔබ
අනේ ඔබ අද දන්නවානම්
මගේ මතකය රිදුම් දෙන බව

දරාගෙන ඔබෙ විසල් ගැරහුම්
තනිව වින්දෙමි නැතිව සැනසුම්
අහෝ ලොකය සිතනවානම්
මගේ යටි සිත තනිව හැඬු බව

මගේ මේසය මතට වී හිඳ
පන්හිඳෙන් මේ ගොතන කවි පද
අනේ දෙවියනි පෙනෙනවානම්
කඳුළු මුතුකැට අකුරු වන බව

සත්‍ය වැළලී ගියා දැනුනද
දන්නෙ ඔබ මා පමණි මතකද
ඔබ නොදන්නා ලෙස සිටී නම්
කියයි මේ හැම මා වැරදි බව

හමුනොවේනම් වෙන්වුනාවේ
ඔබ යන්න මා තනි වුනාවේ
යළි දිනෙක ඔබ හැරෙනවානම්
පෙනෙයි මා පසුපසින් නැති බව

යන්න ඉඩදී බලා ඉන්නෙමි
සෙමෙන් මා යළි ගොඩනැගෙන්නෙමි
මැරෙන්නට මොහොතකට පෙර හෝ
කියන්නෙමි මම සදා යන බව

ඔබේ මතකය අවදි වේවී
සිතුවමක් සේ ඇඳී යාවී
දැනෙන්නට මට ඉඩ හරිනු මැන
ඔබේ සතුටත් එයම වූ බව

එපා කඳුළැලි ඔබෙ නෙතගට
පිපෙන් හසරැලි ඔබේ මුවගට
යන්න කළියෙන් සිතින් දිවුරමි
යළිත් සසරේ හමු නොවන බව




දෙවිඳු පිටුපෑවදෝ....

දෙවිඳු පිටුපෑවදෝ....






රූසිරු ඔද වැඩී අබරණ දරාගෙන
ඈ වැඩහිඳිනවා පියුමාසනය මත
මොනරිඳු පියාපත් විදාගෙන පිටුපසින්
දෑත වීණාව ගෙන තවත් දෙ අතක් හිමිය

හසරදෙකු ඉදිරිපස පිහිනමින් විලෙහි ඇත
දෙවොල පිරිවරා මහ සෙනඟ වැඳ වැටී ඇත
සුවඳ දුම් ගසද්දී පලතුරු වට්ටියට
ශිෂ්‍යයෝ යදිනවා විභාගය ගොඩයන්න


ඇගෙ නුවණ දිය නොහැක ඉල්ලන හැමෝටම
සමව සලකමීන් හැම ඇය අහක බලාගෙන
සමහරු ලොකු පඬුරු පුදද්දිත් බැතිබරව
අචලයි සරස්වතිය විමානෙට වැඩියාද

පඬුර එකසිය එකයි වරක් කන්නලව්වට
සියය කපු මහතාට රුපියලක් දෙවියන්ට
ගාන මදි වුනාදෝ සෙනඟෙ මග හැරුනදෝ
විභාගය අසමත්ය දෙවිඳු කළකිරුණදෝ





Friday, November 30, 2012

දුර වැඩියි...


                                                ලතැවුලෙන් පිරීගිය
                                                සිතක වේදනා බර
                                                කඳුළු කැටයක් තිබේ
                                                රත් කොපුල්තල දිගේ
                                                ගලා යන්නට නොදී
                                                රහසේම සඟවගෙන...

                                                කියා ගන්නට බැරිව
                                                සිර කරන් මම මටම
                                                මගෙ සිහින මා තුළම
                                                වැළපේය නිහඬවම
                                                ඔබේ පා ළඟටවී
                                                මටම මා අහිමි වී...

                                                මට ඔබේ සුසුම් පොඳ
                                                විඳින්නට ඉඩ දෙන්න
                                                මට ඔබේ දෑස් තුළ
                                                ගිළෙන්නට ඉඩ දෙන්න
                                                මට ඔබේ හද ගැස්ම
                                                ගනින්නට ඉඩ දෙන්න
                                                මේ දුරස්බව වැඩියි
                                                පෙර ලෙසින් ළඟ ඉන්න....

Thursday, November 29, 2012

( නො )පැතූ.....


බලා සිටියෙමි බොහෝ කල් හිද
මටම හිමි වූ ලෝකයක් ගැන
පැතුම් පොදි ඒ ලොවේදී පැතු
මිහිරි සීහිනෙක වියැකිලා යන...!

කියන්නට වුව අසන්නට වුව
මගේ හිමිකම් මටම නැති වුන
හෙළන හුස්මට පවා දැනුනා
පැතූ ලෝකයෙ නොපැතු තනිකම...!

පාලුයි මගෙ පුංචි හිතට...!

හැකි වුනේ නම් සැඟව ඉන්නට
එදා මෙන් ඔබෙ තුරුල්ලට වී
අවැසි වන්නේ කෙළෙස අද මට
හෙළන්නට උණු කඳුළු කැටිතී....

සොයාගෙන දිව එන්න හැකිවුව
ඔබෙ දයාබර දෑත් අතරට
කියාගන්නට බැරි දුකක් ඇත
හදේ සිරකොට කියනු නොහැකිව....

එහෙත් ඔබ ළඟ රැඳෙන මොහොතක
අපරිමිත රැකවරණයක් ඇත
එවන් දාරක ස්නේහයක් ළඟ
අම්මෙ සුර සැප මට වැඩක් නැත....