Wednesday, March 7, 2018

අහංකාර උඹ


            




              මතකයි එක හැන්දෑවක උඹ ආවා අපේ ගෙදර
              ඉගිලී ගොස් අතරමංව හෙම්බත් වීලා හොඳටම
              කෙඳිරිගගා තුරු මුදුනක විඩාපත්ව හතිලන විට
              මං හිතුවා බිම ඉඳගෙන උඹේ හීන ඉටුකරන්න...

              උඹ කියනා දුක අහගෙන උඹේ කඳුළු පිසදම දම
              පාට පාට කොල අලවා උඹ හැඩ කෙරුවෙමි හෙමිහිට
              තව ටික දවසයි තිබුනේ උඹ රජවෙන දවස එන්න
              උඹේ වරිගෙ තරඟ බිමක උඹට ඔටුනු පළඳවන්න...

              කඩතොළු වූ බැමි තදකර උඹ සවිමත් බව දැනගෙන
              නිල් අහසට යන්න දුන්නෙ පියාඹන්න පුරුදුවෙන්න
              නූල කඩන් යන්න ගියේ ආයෙත් උඹ කලින් වගෙම
              ඔය හිතුවක්කාර වුනේ අනේ උඹට පිං නැතුවට...

             මං අලවපු කොලේ පාට වැහිකෝඩෙට හේදුනාද
             පුංචි වරල් උඹට දැම්ම උඩු හුළඟෙදි කොහි ගියාද
             මං දන්නව තුරු මුදුනක උඹ ආයෙත් ඇති අඬ අඬ
             කිරුළු උඹට හිමි නැතුවැති සරුංගලේ අහංකාර...

No comments:

Post a Comment