Tuesday, January 22, 2013

මගේ හිමියනි...!







සිපිරිගෙය විය කලෙක හදවත ආදරේ සිතුවිල්ල නාමෙන්....
කඳුළු සුසුමන් කලෙමි සිරගත ලොවෙ වසන් විය මම මගෙන්....
දිනක් එළඹෙන තුරා ගැන ගැන අතේ දෑඟිලි හෙමි හෙමින්....
නිදහසේ අරුණැල්ල සෙවුවෙමි හදවතේ ගැස්මට හොරෙන්....

තාරුකා එළි එපා කීව්වේ හිරුට පෙම්කල නිසාවෙන්....
බැසගියත් යළි නැගෙයි සිතුවේ අතැර ගියෙ ඔබ නිසාවෙන්....
යළි නැගුන විට අපේ ලෝකය ඔබෙ ඒ ආගමනයෙන්....
කඳුළු කම්මුල් දිගේ ගොස් පිටමංවුනා ඔබෙ උරමතින්....

අවැසි විය මට වන්න ඔබ ළඟ ඉතා බැතිබර යශෝදාවක්....
පතිනිවත නැත විමසුවේ මම පිළිගතිමි නොදුනෙමි දුකක්....
හිමියනේ අමතකද අද එය මග හරින්නේ යළි වරක්...
නොදැනුනේ මා වරද මගෙමද දෙවියනේ මෙය පෙර පවක්...

ඇරඹුමේදී සොයා බැලු හැටි මතක් වෙයි සිතපාරවා...
රැයක් ගානේ මිමිණු පෙම්බස් සිහිනෙනුත් මට ඇහෙනවා...
පුදසුනේ තැබු ප්‍රථම ප්‍රේමය බොඳ වේද බයහිතෙනවා....
වර්ණ නැතිවුව අපේ ලෝකය හිමියනේ මට වටිනවා....

Friday, January 11, 2013

ආදරයට අත්තටු ඇවිත්..........


ආදරයට අත්තටු ඇවිත්..........





අත්තටු විත් මගේ හිතට
හදයි ඔන්න ඉගිල්ලෙන්ට
ආදරයෙන් ඔබේ ළඟට
එහෙත් ළඟයි විභාගෙ මට...


පාඩම් පොත් පිටු ගානේ
අකුරු අතර මැවී පෙනේ
නිදි කිරනා රෑ පානේ
ඔබේ සුසුම් මටත් දැනේ...


ළඟදිම මුනගැසෙන දිනදි
කියන කරුණු තිබේ සුසැදි
එනමුදු ඔබ දකින විටදි
මතකය දිවයාද නොරැඳි...


කඳුළු කොහේදැයි නොහැඟෙයි
දුක සෝකය මම නොදනියි
ඔබෙ ළඟදි හරි පුදුමයි
මුළු ලොව මට මගේ තමයි...

Monday, January 7, 2013

සරා සඳට මා අමතක වුනාදෝ...







කලක් තිස්සේ පැතූ හීනය අද සැබෑ ලෝකය වෙලා
විලක් මත්තෙහි සියපතක් සේ මෑත මතකය ලියවිලා
පලක් නැති මුත් හෙළා සුසුමන් මෙසේ ළතැවී මගබලා
මලක් විමසයි හිතේ ශෝකෙන් කිමද සඳ තව නොනැගිලා...


රැයක් එළිවෙන තුරා පෙරදා මිමිණු පෙම්බස් දියවෙලා
මේඝයක් වී කඩා වැටුනා පෙති පවා පොඩි වී ගියා
නිමක් නැතිවූ අකුණු සැර සඳ රැස් දිගේ පුපුරා ගියා
පෙමක් වෙනුවෙන් තවත් ලතැවෙයි සරා සඳ වඩිතැයි කියා..