Wednesday, February 14, 2018

බොළඳ ප්‍රේමය...







මැනබලන්න එපා සබඳ
වැටෙන කඳුළු බරද කියා
සිනාසෙන්න එපා ඉතින්
මෙච්චර බොළඳයිද කියා...

නොදැක ඉන්න එක සතියක්
හරියට මට කල්ප හැටක්
අමතපු නැති එක දවසක්
සිතට මගේ නෑ විසුමක්...

දහසක් වැඩ අතරෙදි වුව
එයි සිහියට ඔබ හොඳින්ද?
කෑමෙදි බීමෙදි පළමුව
හිතෙයි අනේ ඔබ කෑවද?...

ඔබ පොඩ්ඩක් බැන්න විටදි
රිදිලා මගෙ හිත හොඳටම
අනේ අපොයි කියා හිඳී
ලෝකෙ කඩන් වැටුන ලෙසට...

ඇස් රතු කරගෙන අඬ අඬ
ඔයා කරන විහිළු වලට
මම ඉන්නෙමි එලි වෙන තුරු
නොකා නොබී හිතේ දුකට...

ඒක මගේ බොළඳ කමද
නැතිනම් ආදරේ හැටිද
ඔබේ ළඟදි දැනෙන හුරුව
සංසාරික බැඳීමක්ද...

Thursday, November 17, 2016

ඔබ සහ මම



ඔබ සහ මම




අපවිත්‍ර ජල තලය
පරදවා නැග ආපු පොහොට්ටුව
මම
සුපිරිසුදු සියපත් පොහොට්ටුව...

සටකපට දුස්සීල
පැණි උරා පැනදුවන වන බඹර
ඔබ
පොහොට්ටුව රිදවූ වන බඹර...


Monday, September 1, 2014

" ඔබ අමතන ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත "








රිදුම් දෙන ගත වේදනාවන්
ඉතා අල්පයි හඬන සිත ළඟ....
ඔබත් නොඇසූ මගේ ගීතය
දැනුත් තෙරපෙයි වැසුනු තොල් අග....

පද වැලත් නැත තනුවකුත් නැත
කෙවිලියත් නැත ඔබ නොමැති අද....
ඔබට නොවටින අමිල ප්‍රේමය
ඉකි ගසයි දුරකතනයක් ලඟ....

Sunday, November 24, 2013

ඔබ එනවද මට කියන්න



ඔබ එනවද මට කියන්න


යෝධ කඳුපන්ති නිල් අහස්කුස සිපගන්න
පවුරු බැඳලා වගෙයි කුල රජුන් රැකගන්න
නිති වැටෙන පොඳ වැස්ස මිහිතලය නහවන්න
කහ දියර ඉසිනවද රජුගෙ පා පිළිගන්න

පවුරු වැට පැනන් ආ ඔටුනු හිමි කුමරාණ
දුටුවාද නූතනයෙ අසොක්මල් බලනුමැන
මුහුණ දිය යුතු දිවියෙ ඇත බොහෝ ලැබගන්න
එදා සාලිය ලෙසින් නොහැකිවෙයි පැනයන්න

පැතුම් පොදි ගුලි කරන් ඇය හිදී මගබලා
එනතුරා ගෙන යන්න මගුල් රථ පිරිවරා
කඳු ශිකර පසු කරන් ඔබ ඒද කල්බලා
දිවිතුරා ළඟ ඉන්න ඇතිද පෙර පින් පුරා

Monday, September 23, 2013

හිඳින්න බැරි මගෙ දෙ අතින් පැටියෝ නුඹ දැන් ඉගිළෙයි



හිඳින්න බැරි මගෙ දෙ අතින් පැටියෝ නුඹ දැන් ඉගිළෙයි




ළඟට අරන් පරිස්සමින් දෑසෙ කඳුළු පිසලදාපු
ආදරයෙන් ළඟින් ඉදන් උදේ සවස හිත හදාපු
මගේ පුංචි කුරුළු පැටියා මාව දමා ඉගිල ගියපු
පරිස්සමින් යන්න පැටියො දුර අහසේ පැතිර ගියපු


කූඩු කරන්නට නොහැකිය
නුඹෙ නිදහස නුඹට හිමිය
තටු සවි වී නුඹ දැඩිවිය
තුරුණු නුඹට සැප මදිවිය

බලන්න දුර අහස දිහා පැටියෝ අන්තුරු බොහොමයි
දකින්න දුර ඈත නිතර පැටියෝ ලෝකය නපුරුයි
රැඳෙන්න හිත නොමැති නිසා පැටියෝ නුඹ යා යුතුමයි
හිඳින්න බැරි මගෙ දෙ අතින් පැටියෝ නුඹ දැන් ඉගිළෙයි

Thursday, March 28, 2013

අපි අපේ වුන හැටි



අපි අපේ වුන හැටි



පාඩම් පොතේ නිතර
පිටු අතර සිනාසුන
ඔහුගේ දසන් පෙළ
අමතක වෙලා මට....
තත්පරෙන් තත්පරේ
එව්ව කෙටි පණිවිඩ
නැවතිලා ඔක්කොම
අමතක වෙලා ඔහුට....

හොර ගල් ඇහිඳපු
සෙමින් ඉඟිබිඟි කරපු
පාසල් ප්‍රේමෙ ඉවරයි
හීන මාළිගත් ඉවරයි....
උපධිය ඔළුව උඩ තියාන
ඉන්නවා අපි සරසවි දෙකක
ඔබ අලුත් පෙම් ලොවක
මම මගෙම ආතල් ලෝකෙක....

සරසවි යන්න පෙර
දහසක් පොරොන්දු මැද
එකට තැබු හදවත්
අපිම හොරෙන් අරගෙන....
ඔබ දන්නෙ නෑ
ඔබ එතන නැතිවග
ඔබට මතකත් නෑ...මම?
ඔබට නොදෙවෙනි නෑ....