Tuesday, April 24, 2018

බැඳෙමි ඔබ වෙත





බැඳෙමි ඔබ වෙත

සීතලට තනිකම දැනෙද්දී මුවින් සුසුමන් පිටවුනා
රැය උදාවී පාළු යහනෙදි අනේ මට ඔබ සිහිවුනා
කදෝපැණියකු රුවක් අභියස දුක කියා මා වැළපුනා
ඔබේ ළයමත හිස හොවන්නට අදත් මට පිං මදිවුනා..

වැටෙන හැම හුස්මක්ම ගානෙත් මතක් වෙන්නෙම ඔබේ වගමයි
ඇහෙන හැම හඬකටම වැඩියෙන් පතන්නෙත් මම ඔබේ හඬමයි
දකින හැම රූපෙකම හෙව්වෙත් මා සිතේ ඇඳි ඔබේ රුවමයි
පැතුව හැම පැතුමකම තිබුනෙත් මා ඔබේමයි ඔබ මගේමයි....

විවර කෙරුවෙමි ප්‍රේමයට මම හදේ දොරගුළු ඔබේ නාමෙන්
දිනෙන් දින දළුලාවි තව තව සකි සඳේ ඒ කිමද නාසන්
බැඳෙමි ඔබ වෙත වෙළෙමි ඔබ ළඟ සියදහස්වර මා සිතින්
මමම නොදනිමි නිරුත්තර වෙමි ඒ මගේ ප්‍රේමය ඉතින්..

සතුට සැනසුම ගෙනෙයි ඔබ මට දකින ස්වප්නෙක දී පවා
හිතට දුක්බර මොහොත දුරලයි ඔබෙන් ලද සිපුමක් පවා
රැයේ සුවබර නින්ද ගෙනදෙයි ඇසිල්ලක ඇමතුම පවා
ගෙනෙයි දහිරිය ඔබ මගේ ළඟ හිඳියි යන හැඟුමක් පවා..

Wednesday, March 7, 2018

අහංකාර උඹ


            




              මතකයි එක හැන්දෑවක උඹ ආවා අපේ ගෙදර
              ඉගිලී ගොස් අතරමංව හෙම්බත් වීලා හොඳටම
              කෙඳිරිගගා තුරු මුදුනක විඩාපත්ව හතිලන විට
              මං හිතුවා බිම ඉඳගෙන උඹේ හීන ඉටුකරන්න...

              උඹ කියනා දුක අහගෙන උඹේ කඳුළු පිසදම දම
              පාට පාට කොල අලවා උඹ හැඩ කෙරුවෙමි හෙමිහිට
              තව ටික දවසයි තිබුනේ උඹ රජවෙන දවස එන්න
              උඹේ වරිගෙ තරඟ බිමක උඹට ඔටුනු පළඳවන්න...

              කඩතොළු වූ බැමි තදකර උඹ සවිමත් බව දැනගෙන
              නිල් අහසට යන්න දුන්නෙ පියාඹන්න පුරුදුවෙන්න
              නූල කඩන් යන්න ගියේ ආයෙත් උඹ කලින් වගෙම
              ඔය හිතුවක්කාර වුනේ අනේ උඹට පිං නැතුවට...

             මං අලවපු කොලේ පාට වැහිකෝඩෙට හේදුනාද
             පුංචි වරල් උඹට දැම්ම උඩු හුළඟෙදි කොහි ගියාද
             මං දන්නව තුරු මුදුනක උඹ ආයෙත් ඇති අඬ අඬ
             කිරුළු උඹට හිමි නැතුවැති සරුංගලේ අහංකාර...

Wednesday, February 14, 2018

බොළඳ ප්‍රේමය...







මැනබලන්න එපා සබඳ
වැටෙන කඳුළු බරද කියා
සිනාසෙන්න එපා ඉතින්
මෙච්චර බොළඳයිද කියා...

නොදැක ඉන්න එක සතියක්
හරියට මට කල්ප හැටක්
අමතපු නැති එක දවසක්
සිතට මගේ නෑ විසුමක්...

දහසක් වැඩ අතරෙදි වුව
එයි සිහියට ඔබ හොඳින්ද?
කෑමෙදි බීමෙදි පළමුව
හිතෙයි අනේ ඔබ කෑවද?...

ඔබ පොඩ්ඩක් බැන්න විටදි
රිදිලා මගෙ හිත හොඳටම
අනේ අපොයි කියා හිඳී
ලෝකෙ කඩන් වැටුන ලෙසට...

ඇස් රතු කරගෙන අඬ අඬ
ඔයා කරන විහිළු වලට
මම ඉන්නෙමි එලි වෙන තුරු
නොකා නොබී හිතේ දුකට...

ඒක මගේ බොළඳ කමද
නැතිනම් ආදරේ හැටිද
ඔබේ ළඟදි දැනෙන හුරුව
සංසාරික බැඳීමක්ද...

Thursday, November 17, 2016

ඔබ සහ මම



ඔබ සහ මම




අපවිත්‍ර ජල තලය
පරදවා නැග ආපු පොහොට්ටුව
මම
සුපිරිසුදු සියපත් පොහොට්ටුව...

සටකපට දුස්සීල
පැණි උරා පැනදුවන වන බඹර
ඔබ
පොහොට්ටුව රිදවූ වන බඹර...


Monday, September 1, 2014

" ඔබ අමතන ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත "








රිදුම් දෙන ගත වේදනාවන්
ඉතා අල්පයි හඬන සිත ළඟ....
ඔබත් නොඇසූ මගේ ගීතය
දැනුත් තෙරපෙයි වැසුනු තොල් අග....

පද වැලත් නැත තනුවකුත් නැත
කෙවිලියත් නැත ඔබ නොමැති අද....
ඔබට නොවටින අමිල ප්‍රේමය
ඉකි ගසයි දුරකතනයක් ලඟ....

Sunday, November 24, 2013

ඔබ එනවද මට කියන්න



ඔබ එනවද මට කියන්න


යෝධ කඳුපන්ති නිල් අහස්කුස සිපගන්න
පවුරු බැඳලා වගෙයි කුල රජුන් රැකගන්න
නිති වැටෙන පොඳ වැස්ස මිහිතලය නහවන්න
කහ දියර ඉසිනවද රජුගෙ පා පිළිගන්න

පවුරු වැට පැනන් ආ ඔටුනු හිමි කුමරාණ
දුටුවාද නූතනයෙ අසොක්මල් බලනුමැන
මුහුණ දිය යුතු දිවියෙ ඇත බොහෝ ලැබගන්න
එදා සාලිය ලෙසින් නොහැකිවෙයි පැනයන්න

පැතුම් පොදි ගුලි කරන් ඇය හිදී මගබලා
එනතුරා ගෙන යන්න මගුල් රථ පිරිවරා
කඳු ශිකර පසු කරන් ඔබ ඒද කල්බලා
දිවිතුරා ළඟ ඉන්න ඇතිද පෙර පින් පුරා